පුත්තලමේ මුස්ලිම් ජනතාවට ස්තුතියි පුදකිරීමක්
පුත්තලම් online වෙබ් අඩවියේ පළවූ පුවත එලසින්ම.
ජී.ඩී.එස්. ගුණසේකර
මැණික් ස්ටූඩියෝ,
අංක 11,
කුරුණෑගල පාර,
පුත්තලම.
දිනය: මැයි 09, 2012
ප්රධාන කතෘ
පුත්තලම ඔන්ලයින් වෙබ් අඩවිය
හිතවත් මහත්මයාණෙනි.,
කාරණය: ස්තුති ප්රකාශය පුත්තලම ඔන්ලයින්හි පළකරවීම
සම්බන්ධය: පුත්තලම, කුරුණෑගල පාරේ වෙළඳ ස්ථානවල ඇති වූ හදිසි ගිනි ගැනීම අවස්ථාවේදී එම ගින්න නිවීමටත්, වෙළඳ භාණ්ඩ ආරක්ෂා කිරීමටත් උදව් උපකාර කළ ජනතාවගේ මානුෂිකත්වය
පසුගිය මැයි 03 වැනි බ්රහස්පතින්දා දින පස්වරුවේදී පුත්තලම, කුරුණෑගල පාරේ වෙළඳ ස්ථානවල ඇති වූ හදිසි ගින්න නිවීමටත් වෙළඳ ස්ථානවල තිබූ භාණ්ඩ ආරක්ෂා කිරීමටත් කැපවීමෙන් දායක වූ පුත්තලම නගරයේ ජනතාවට මගේ හෘදයාංගම ස්තුතිය මෙම ලිපිය මගින් පුද කරමි. විශේෂයෙන්ම, ජාතින් අතර සුහදතාවය වර්ධනය කිරීමට මෙම ලිපියෙන් ප්රකාශ කෙරෙන කරුණු මහෝපපකාරි වන බැවින් මෙම ලිපිය පුත්තලම ඔන්ලයින්හි පළකරවන මෙන් ඉතා උවමනාවෙන් ඉල්ලා සිටිමි.
ඉහත ලිපිනයේ හදිසි ගිනි ගැනීම සිදු වූ අවස්ථාවේ දී මගේ වෙළඳ ස්ථානයත් ගින්නට හසු විය. එහි තිබූ ඡායාරූපාගාර කැමරා සහ ආලෝක ආම්පන්න එළියට ඇදීමේදී සුළු හානි සිදු වුවත් සම්පූර්ණයෙන් ගිනිබත් වීමට තිබූ අලාභයෙන් ආරක්ෂා කර දීමට එම ස්ථානයට එකතු වූ ජනතාව යුහුසුළු වූහ. ඔවුනගෙන් බහුතරයක් මුස්ලිම් ජාතිකයින් වූ අතර දෙමළ හා සිංහල ජාතිකයින් ද සිටියහ.
මෙම අවස්ථාවේදී මගේ වෙළඳ ස්ථානයේ තිබූ සිවුරු, අටපිරිකර ඇතුළු පූජා භාණ්ඩ හා ගෞතම බුදු පිළිම ආරක්ෂා කර දුන්නේ පුත්තලම නගරයේ මුස්ලිම් ජනතාවයි. ඔවුන් බෞද්ධාගමික පූජණීය භාණ්ඩ දෝතින් ඔසවා ගෞරවාන්විතව එළියට ගෙනැවිත් තැබූ ආකාරයත්, ආගම් භේදවලින් තොර ඔවුන්ගේ ආදර්ශමත්භාවය හා මානුෂිකත්වයත් ඉතා හැඟීම්බර අවස්ථාවක් වූ බව මෙහිලා විශේෂයෙන් සටහන් කරමි.
මෙම සිදුවීමෙන් පසුදින උදයේ පුත්තලම නගරයෙන් දුර ප්රදේශයක රැකියාවේ නියුතු මගේ මිතුරෙකුගෙන් ලද දුරකථන ඇමතුමට හේතු වූ කාරණාව පිළිබඳව මගේ දැඩි අප්රසාදය ප්රකාශ කළ යුතුව ඇත. එනම්, පසුගිය කාලවල රටේ ඇති වූ නොසන්සුන්කාරි තත්වයන් හා සම්බන්ධ කර පුත්තලමවාසි බෞද්ධයෙකු වූ මගේ වෙළඳ ස්ථානය පුත්තලම නගරයේ මුස්ලිම් පිරිසක් කඩා බිඳ දැමූ බව රාවයක් පැතිරී ඇත. එම දුරකථන ඇමතුමෙන් මගේ මිතුරා විමසා සිටියේ මෙහි ඇත්ත තත්වයයි. මෙවන් දූෂමාණ ආරංචි පතුරුවා ජාතින් අතර සුහදතාවය කඩා බිඳ නො දමන මෙන් දැඩි සංවේදී සිතින් ඉල්ලා සිටිමි.
පසුගිය කාලවල රටේ ඇති වූ නොසන්සුන්තාවයන් හමුවේ, කාලින වැදගත්කම සහිත ජාතික සමගියට පූර්වාදර්ශී වූ මෙම සිදුවීම ඔබතුමාගේ පුවත්පතේ පළකරන මෙන් නැවත නැවතත් ඉල්ලා සිටිමි. මෙම ඉල්ලීම කෙරෙහි ඔබතුමාගේ පුද්ගලික අවධානය යොමු වනු ඇතැයි ද, පුත්තලම ඔන්ලයින්හි පළකරනු ඇතැයි ද ඉතා උවමනාවෙන් අපේක්ෂා කරමි.
ස්තුතියි.
මෙයට,
විශ්වාසී වූ,
ජී.ඩී.එස්. ගුණසේකර
—————————————-
පුත්තලමේ ඇතිවූ හදිසි ගිනි ගැනීම සම්බන්දයෙන් Knowledge Box කණ්ඩායම විසින් ගන්නා ලද චායාරුප සහා වීඩියෝ දර්ශන පහලින්..
Leave a Reply